Wednesday, March 6, 2013

පරිස්සම්වන්න

රඟපාන්න දෙන්නම් කියන අයගෙන් පරිස්සම්වන්න

චිත්‍රපට වල හා ටෙලිනාට්‍යවල රඟපෑමට අවස්ථාවන් ඇති බවටත්, නර්ථන කණ්ඩායම්වල නර්ථනයේ යෙදීමට අවස්ථාව ඇති බවටත්, විවිධ ආයතනවල රැකියා අවස්ථාවන් ඇති බවටත් මාධ්‍ය උපයෝගී කරගෙන දැන්වීම් පලකර කාන්තාවන් හා තරුණ ගැහැණු ළමුන් රවටා ඔවුන් නොයෙක් අපචාර ක්‍රියාවලට යොදවා ගැනීම් පිළිබඳව තොරතුරු වාර්ථා වී ඇතැයි පොලිසිය පවසයි.

ඇතැම් පුවත්පත් හා අන්තර්ජාලය භාවිතා කරමින් අසත්‍ය දැන්වීම් පලකර කාන්තාවන් මෙන්ම තරුණ ගැහැණු ළමුන්ද රවටා අපචාර ක්‍රියා වලට යොදවාගත් බවට පසුගිය කාලයේ පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි ද ලැබී ඇත.

එලෙස රැකියා අවස්ථා ඇති බවට පලකරණු ලබන බොහෝ දැන්වීම්වල සඳහන් පුද්ගලයින් හා ආයතනයන්ගේ ස්ථාවර දුරකතන අංකයන් නොමැති බවටද අනාවරණය වී ඇති අතර ජංගම දුරකථන අංකයන් පමණක් සඳහන් වී තිබීම විශේෂ ලක්ෂණයකි.

කිසිදු සොයා බැලීමකින් තොරව රඟපෑමට ඇති ආශාව හා ජනප්‍රිය වීමට ඇති ආශාව නිසා මෙවැනි වංචාකරුවන් පසුපස යන කාන්තාවන් සහ තරුණියන් අවසානයේදී වංචාකරුවන්ගේ ලිංගික ගොදුරු බවට පත්වේ.

තවද සම්භාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන යන ව්‍යාජ ආයතනවල රැකියා සඳහා යන බොහෝ කාන්තාවන්ද අවසානයේදී විවිධ ලිංගික අතවර වලට ලක්වී තම අනාගතය අඳුරු කරගන්නා අවස්ථාවන් බොහෝ වාර්ථාවී ඇත.

එබැවින් කිසියම් කාන්තාවක් හෝ තරුණියක් මාධ්‍යවල පලකර ඇති දැන්වීම් අනුව චිත්‍රපට, ටෙලිනාට්‍ය වල රඟපෑමේ අරමුණින් අදාල පාර්ශවයන් මුණගැසෙන්නේ නම් හෝ සම්මුඛ පරික්ෂණ වලට සහභාගිවන්නේ නම් එම ආයතන හා පුද්ගලයින් පිළිබඳ හෙඳින් සොයා බලා එම ආයතනවල විශ්වාසනීයත්වය හා එම පුද්ගලයින්ගේ අනන්‍යතාවයන් තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් එවැනි කටයුතුවල නිරතවන ලෙසට පොලිසිය මහජනතාව දැනුවත් කර සිටී.

No comments:

Post a Comment