Thursday, March 21, 2013

ශුද්ධවු බෙනඩික් තුමනි අප නිසා යැදුව මැනව

ශු. බෙනඩික් තුමා - ක්‍රි. ව 480 - 542

උම්බ්‍රියා රටේ නුර්සියා නමැති කුඩා ග්‍රාමයේ වංශවත් දෙමව්පියන්ගෙන් බෙනඩික් උපත ලැබුවේය. එහෙත් අනෙක් තරුණයන්ගේ අශිෂ්ටාචාර ජීවිතයන් නිසා බෙනඩික් වයස 16 දී ගැලවීම සෙවීම සදහා තම ධනය සියල්ලද, මෙලෝ ආශාවන් සියල්ලද අතහැර දමා සැගවී ගුහාවක වනවාසියෙක් සේ හුදකලා ජිවිතයක් ගත කළේය. ඔහු බොහෝ දුර ඇවිද සුබිආකෝ නම් වූ කදු ප්‍රදේශයට පැමිණියේය. ඔහු ගැබුරු නිශ්ශබ්ද නිම්නයක් දුටුවේය. එහි ගුහාවක් දැක ඒ වෙතට ගියේ ' ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා" යි ගායනා කරමිනි. එහි ගිය විට " දැනුත් සදහටත්" කියා යම් හඩක් ඇසුණු විට බෙනඩික් තිගැස්සුනේය. එවිට ඔහු වටපිට බලන්නට විය. ඒ අවස්ථාවේදී ස්වල්ප දුරක වයස්ගත තාපසයෙක් සිටිනු දුටුවේය.

බෙනඩික් තමාට හුදකලා ජිවිතයක් ගත කිරීමට තිබෙන ආශාව මේ තාපසයාට පැවසිය. තාපසයාද තරුණයාට සවන් දී, ඔහුට වන වාසින් පළදින රළු හම් ඇදුමක් දුන්නේය. දිලිදුකම, හිග පාඩු ඇතිව සිටීම, සීතලය සහ නොයෙක් අපහසු කම්, තනිකම හා යාච්ඤාව මේවා මගින් ඔහු අදහස් කලේ තමා දමනය කර දෙවියන් වහන්සේට වඩ වඩා ලංවීමය.

බෙනඩික් සිතුවේ මෙවැනි පරිසරයක දෙවියන් වහන්සේට ලංවීම පහසු බවය. නමුත් යක්ෂයා නොයෙක් මාර්ග වලින් ඔහු පරික්ෂා කළේය. බොහෝ අවස්ථා වලදී ඔහුට මාංශික පරික්ෂාවල් පැමිනෙව්වේය. එහෙත් නොයෙක් පශ්චාත්තාපී ක්‍රියා මගින් ඔහු මේවා දුරු කළේය. යාච්ඤාව හා පශ්චත්තාපය ඔහුගේ දෛනික ආහාරය විය. මෙලෙස ගල්ගුහාවේ ගත කල අවුරුදු 3 පසු ඔහුගේ චිත්තය හා චරිතය වේගයෙන් වර්ධනය වී ප්‍රබල වුයේය.

ඔහුගේ ශුද්ධවන්තකමත්, නොයෙක් ප්‍රාතිහාර්යයන් කිරීමේ බලය සහ අන් අයට මග පෙන්වීම ගැන අවට සිටින අයට දැනගන්නට ලැබී, බොහෝ අවංක අනුගාමිකයෝ ඔහු වෙතට ආකර්ෂණය වුහ. ඔවුන් ආරාම 12 ක පදිංචි කෙරෙව්වේය. එක් එක් ආරාමයක එයට අයත් ශේෂ්ඨතුමා සහ තාපසයන් 12ක් බැගින් නිවාසගත කළේය. මෙලෙස ඔහු තාපස ජීවිතය ආරම්භ කළේය. මේ හැර ශු. බෙනඩික් තුමා තරුණයන්ගේ ක්‍රිස්තියානි අධ්‍යාපනය සදහා පාසල් පිහිටෙව්වේය. ඔහුගේ සඵලත්වය දුටු සමහරු ඊර්ෂ්‍යාවෙන් ඔහුට සතුරු කම් කරන්නට පටන් ගත්තේය. එබැවින් ක්‍රි. ව 529 දී ඔහුගේ අනුගාමික ප්ලසිඩස්ගේ පියාගෙන් ලැබුණු තෑග්ගක් වන මොන්ටකැසිනෝ නම් ස්ථානයට ගියේය. එතැන්හිදීද ඔහු බෙනඩික්තානු නිකායේ මව් ගෘහය වූ විශාල තාපසාරාමය ගොඩනැගුවේය. මේ අලුත් ගොඩනැගිල්ල රෝමයේ නේපල්ස් යන ගමන් මාර්ගයක කදු මත ඇති ආලෝකය විහිදුවන පහන් කණුවක් මෙන් විය. ක්‍රි. ව 526 දී බෙනඩික් තුමා ලියු ව්‍යවස්ථා මාලාවේ අරමුණ වුයේ සුවිශේෂක අනුශාසනා අනුව තාපසයන්ගේ විනය හා ආත්මික හැඩගැස්මය. එයින් විශේෂයෙන් පැතුවේ ජීවමාන සාමුහික ජීවිතය හා ප්‍රීතිදායක කිකරුකමය. තවද ඒ නියෝග වලින් කීකරු කම යටතේ වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමේ වටිනාකම එතුමා පෙන්වා දුන්නේය. මන්ද අලස මිනිසෙකුගේ ආත්මය තුල දේව වරප්‍රසාදය ක්‍රියා කරන්නේ නැත. එසේ උද්යෝගිමත්ව ක්‍රියා කිරීමට එකතු කලේ යාච්ඤාව, දේව වන්දනාවට අයත් ඔපිස් යාච්ඤාව සහ වෙනත් යාච්ඤා අභ්‍යාසයන්ය. වංශවත් සිටුවරුද, සාමාන්‍ය දිළිදු අයද, බෙනඩික් තුමා විසින් ආරම්භ කල මේ නිශ්චල, ශේෂ්ඨ සමබර ජිවිත ක්‍රමයට ආකර්ෂණය වුවෝය.

ගොත්වරුන්ගේ රජවූ ටොට්ලා පවා බෙනඩික්තුමාගේ මේ සේවය කොතරම් අගය කලේද කිවහොත්, ඔහුගේ කෘර, වනචාරි ගති දමනය කළේය. ශු. බෙනඩික් තුමා ස්වර්ගස්ථ වුයේ ඔහු තාපසාරාමයේ මහා අල්තාරයේ ඉදිරියේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබූ පසු ඇත ඔසවමින් යාච්ඤා කරමින් සිටි අවස්ථාවේදීය. ඔහුගේ නිකාය ශු. සභාවට ශුද්ධෝත්තම පාප්වහන්සේලා 24 ක්ද, රදගුරුතුමන්ලා 4600ක් ද දානය කර ඇත. මේ හැර මුළු මිනිස් සංහතියටම එතුමා දේව වන්දනාව හා ධර්මදානය මගින් කිව නොහැකි තරම් සේවයක් කර ඇත.

එතුමාගේ මංගල්‍යය මාර්තු 21 වන දිනට යෙදේ.

No comments:

Post a Comment